Monday, 30 May 2022

පංච විධ අන්තරාව

පංච විධ අන්තරාව

නිවන් වළකන ධර්ම 5 ක් ධර්මයේ සඳහන් වේ. පංච විධ අන්තරාව ලෙස හදුන්වන එයින් උපවාද අන්තරාව අපගේ කලින් ලිපියේ විස්තර කලෙමු. සියලු දෙනාගේ දැන ගැනීම පිණිස ඉතිරි අන්තරා 4, පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහ නාහිමි සම්පාදිත “විදර්ශනා භාවනා ක්‍රමය” නම් ග්‍රන්ථයේ සඳහන් ආකාරයට මෙසේ සැකෙවින් දක්වන්නෙමු.

1. කර්ම අන්තරාය
පඤ්චානන්තර්ය කර්මය, භික්ෂුණී දූෂක කර්මය මෙයට ඇතුලත් වේ. මෙය පිළියම් කල නොහැකි ඝනයේ එකකි. කොතරම් හේතු සම්පත් ඇතුව සිටියත් මෙයින් යමක් කලේ නම්, එම ජාතියේදී කොතරම් වීර්ය කලද මඟ-ඵල නොලැබේ. අජාසත් රජු පිතෲ ඝාතනයෙන් පසු කලෙක, බුදු පියානණන් හමුවේ බණ ඇසූවද, එවිට සෝවාන් වීමට සියලු හේතු සම්පත් ඇතිව සිටියද එය නොලැබී ගියේ මෙම අන්තරාය නිසාය.

2. ක්ලේශාන්තරාය
මෙය නියත මිථ්‍යාදෘෂ්ටියයි, අත් හැර සම්‍යග්දෘෂ්ටිය ගන්නා තෙක් බල පැවැත්වේ. මේ හේතුව නිසා, පිරිසිඳු බුදු දහමෙන් පිට කිසි විටකත් මඟ-ඵල නොලද හැකිය. මෛත්‍රී බුදුන් තමා යයි කියා ගන්නා, මිථ්‍යාදෘෂ්ටිකයන්ට හා ඔවුන්ගේ සහචරයන්ට අධිගම කිසිවිටෙකත් නොලැබිය හැක්කේ මේ නිසායි. 


3. විපාක අන්තරාය
අහේතුක හෝ ද්වී හේතුක ප්‍රතිසන්ධි මේවායි. අහේතුක ප්‍රතිසන්ධිය යනු අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල හේතු කිසිවක උපකාර නොමැතිව ගන්නා ප්‍රතිසන්ධියයි, අඳ, ගොළු, බිහිරි, උන්මත්තක, මන්ද බුද්ධික උපත් සිදු වන්නේ මේ ආකාරයටයි.  එම ජාතියේදී  මඟ-ඵල නොලද හැකිය. ඉහත කුසල හේතු දෙකක් පමණක් උපතට උපකාරී වූ විට ද්වී හේතුක ප්‍රතිසන්ධි ඇතිවේ. මෙම පුද්ගලයන්ගේ පිටතට පෙනෙන කිසිදු අඩුපාඩුවක් හෝ, විඳිනා සැපෙහි අඩුපාඩුවක් හෝ නොපෙනේ. නමුත් ඔවුන් තුල ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් කිසි විට නූපදී. එබැවින් කාමයන්හී මත් වී වාසය කරයි. ගැඹුරු ධර්මය විෂය නොවන බැවින් සසර දික් කර ගනී. එම ජාතියේදී  මඟ-ඵල නොලද හැකිය. කුසල හේතු සියල්ල සහිතව උපන් ත්‍රිහේතුක පුද්ගලයෝ පමණක් මෙම අන්තරායට හසු වූවෝ නොවෙති.

තමා ද්වී හේතුකද නැතිනම් ත්‍රිහේතුකදැයි යමෙක්ට දැන ගත හැකි වන්නේ ක්‍රමානුකූලව කලක් භාවනා කිරීමෙන් පමණි. එබැවින් විදර්ශනාවම එයට උපකාරී වේ.

4. උපවාද අන්තරාය

ආර්‍ය්‍යෝපවාද කර්මය උපවාද අන්තරාය ය. බුදුවරයකුට හෝ පසේ බුදුවරයකුට හෝ ආර්‍ය්‍ය වූ බුද්ධ ශ්‍රාවකයකුට හෝ යටත් පිරිසෙයින් ගෘහස්ථ සෝවාන් පුද්ගලයකුට වුව ද ද්වේෂ සහගත සිතින් ගර්හා කිරීම ආර්‍ය්‍යෝපවාද කර්මයයි. එය පිළියම් ඇති අන්තරායයෙකි. අපරාධය කළ ආර්‍ය්‍ය පුද්ගලයා කමා කරවා ගැනීමෙන් ඒ දේෂය දුරු වේ. ඉන්පසු ඔහුට මඟ පල ලැබිය හැකිය. තමන් අතින් වරද කැරුණු ආර්‍ය්‍ය පුද්ගලයා සොයාගත නොහෙන කල්හි ඔහු ගිය දිශාව සලකා ඒ දිශාවට නමස්කාර කොට ක්ෂමාව අයැදීමෙන් ද, තමන් විසින් වරද කළ ආර්‍ය්‍ය පුද්ගලයා කාල ක්‍රියා කළේ නම් සොහොනට වැඳ ක්ෂමාව අයැදීමෙන් ද ඒ කර්මය සංසිඳෙන බව දක්වා තිබේ. සමහර විට තමන් අතින් බුද්ධාදි ආර්යයන්හට වරද සිදුවී තිබිය හැකි බැවින් භාවනාවට පටන් ගැනීමේදී ම යෝගාවචරයන් විසින් රත්නත්‍රය ක්ෂමා කරවාගෙන ආර්යයන් ක්ෂමා කරවාගෙන භාවනාව පටන් ගත යුතුයි.

5. ආඥාව්‍යාතික්‍රමණාන්තරාය
කෝටියක් සංවර ශීලය උපසම්පදාවට අයත් වේ. සම්බුදු පියාණන් වහන්සේ විසින් අවස්ථානු කූලව, සාශනයේ චිර පැවැත්ම උදෙසා, බුද්ධ ආඥාව ලෙස මේවා පනවා තිබේ. තම තමා ලබා ගත් අධිගමයන් ගැන ස්වාමීන් වහන්සේ උතුමෙකුට කීමට අවසර දී ඇත්තේ, තමාගේ ඉතා සමීපතම උපස්ථායක ස්වාමීන් වහන්සේට, අපවත් වන මොහොතේදී පමණි. මෙය කඩ කිරීමත් මෙම අන්තරායට හසු වීමට ප්‍රමාණවත් වේ. සැබැවින් අධිගම ලාභී නම් කිසිවිට බුද්ධ ආඥාව නොකැඩෙන තරම් තියුණු ප්‍රඥාවක් ඇති හෙයින් මෙය අත් වැරදීමක් ලෙස කිසි විට සිදු විය නොහැක. මෙම අන්තරාය වළකා ගැනීම පිණිස දැන දැනම් ඕනෑකමින් වරද කිරීමෙන් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට සිදුවූ ආපත්තීහූ, ඇවැත් දෙසීම ආදියෙන් ශුද්ධියට පැමිණීමෙන්  කල හැක. එසේ නොමැති නම් උපසම්පදාවෙන් ඉවත් වන තෙක් අන්තරාය බල පවත්වයි.  

අති උතුම් කම්මට්ඨානාචාර්ය නා උයනේ අරියධම්ම මාහිමි පාණන් ගේ දේශනා වලට අනුව, පෘතග්ජන අයෙක්  අධිගම ලාභී උතුමෙක් වන විට, සක්විති දරු ගැබක් රකින රැජිනක් මෙන් තම අධිගමය කිසිවෙකුටත් හෙළි නොකිරීමේ චිත්තයක් පහළ වන බව දැක්වේ. ඒ අනුව තමා සෝවාන් යයි කියා ගන්නා සැබෑ සෝවාන් ලාභීන්ද සිටිය නොහැක.

සසරේදී අපට මුහුණ දීමට සිදුවන සියලු භයංකාර තත්වයන් ඉහත අන්තරා පමණක් නොවේ. තවත් බොහෝ දේ ඇත. අප විසින් කරනා යම් තාක් කුසල් ප්‍රයෝජනයට ගත යුත්තේ එවායින් මිදී සුවසේ නිවන් අවබෝධ කර ගැනීම පිණිසයි. එබැවින් දවස ආරම්භයේදී සිහි කල යුතු අපගේ උතුම් ප්‍රාර්ථනාවට එම සියළු වලකා ගත යුතු ධර්ම අඩංඟු වනසේ සකස් කල ප්‍රාර්ථනා වාක්‍ය, අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් විසින් සජ්ඣායනා කරනු ඔබට අසා ගත හැක. බාගත කර සවන්දී පුහුණු වන්න.